-->

Thursday, March 15, 2012

සුගතිය හා දුගතිය හඳුනා ගන්න.

දුගතිය හඳුනා ගන්න.
අප කුඩා කල සිට ම අපාය පිළිබඳ ව අසා ඇත්තෙමු. එම අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ අදහස, අප ව පවින් මුදවන්නටත් පිනට නැඹුරු කරන්නටත් ඉවහල් විය. වර්තමානයේ බොහෝ දෙනා විවිධ පාප ක්‍රියාවන් හි නිරත වන්නේ එහි විපාකයේ ගැඹුර බව නො දැන හෝ තැකීමක් නො කොට බව පැහැදිලි ය. එහෙත් අපායේ හෙවත් නිරයෙහි ස්වභාවය දන්නා පිරිස් පාපයෙන් බැහැර වෙති. නැත්තො
මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පච්චති
යදාච පච්චතී පාපො අථ බාලෝ පාපං නිගච්ඡතී යනුවෙන් ධම්ම පදයෙහි දැක්වූ පරිදි පව් කමෙහි විපාකය දකින තුරු එය මිහිරි වූ වක් සේ සලකා කටයුතු කරති. ඒ බැව් දත් ලෝ වැඩ සඟරා කතු හිමියන් එම අදහස ම මෙසේ කවියෙන් දක්වා තිබේ.
        කරන කලට පව් මිහිරි ය                      මීසේ
        විඳින කලට දුක් දැඩි වෙයි                  ගිනි සේ
        හැඳින එපව් දුරලන                         උපදේසේ
        නො දුන මැනවි තුන් දොර                  අවකාසේ
 එනිසා නිරයෙහි තතු මදක් මෙසේ පැවසීම පවෙහි තරම හැඳින ගැනීමට බොහෝ අයට උපකාරී වන බව හඟිමි.

පුහුදුන් අප සැවොම කරන කියන සෑම දෙයක් ම කර්මයක් සඳහා හේතු වෙයි. එය කුසල් හෝ අකුසල් විය හැකි ය. එය තීරණය වන්නේ අපගේ චේතනාව අනුව ය. කුසල චෛතසික හා අකුසල චෛතසික අපගේ එම චේතනාව සකස් කරයි.
            ලෝභය
            ද්වේශය
            මෝහය යනු අකුසල චේතනාවන් ය. යම් ක්‍රියාවක් කිරීමේ දී මෙම චේතනාවන් මුල් වීමෙන් සිදු වේ නම් එය අකුසල ක්‍රියාවකි. එනම් අකුසල කර්මයකි. එහි විපාකයත් අකුසලයකි. එය අප හට විපාක දෙන්නේ කවර අයුරකින් ද යන්න. ධම්ම පයේ යමක වග්ගයේ පළමු ගාථාව මෙසේ පැහැදිලි කරයි.
        මනෝ පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
        මනසා චෙ පදුට්ඨේන - භාසති වා කරොති වා
        තතොනං දුක්ඛමංවේති  - චක්කංව වහතො පදං


        අකුස‍ල චේතනාවේ බලවත් කම අනුව විපාක දිය යුත්තේ කවර අවස්ථාවක  දැයි බලමින් පසු පස එන්නා සේ අකුසල විපාකය අප පසු පස්සේ ගමන් කරයි. කරත්තය අනුව යන ගැල් සක පරිද්දෙනි.
කුසලය ද එසේම  යහපත් සැප විපාක ලබා දීමට උපකාරී වේ එය සෙවණැල්ලක් සේ අත් නො හැර යමින් සැප විපාකය ලැබෙන තුරු ළඟ රැඳේ.
පස් පවින් දිවි ගෙවන අය හට එනම්, සතුන් මරණ, සොරකම්  කරන, පරදාර සේවනයෙහි යෙදෙන්නන් හට මෙලොව දී නීතියෙන් දඬුවම් ලැබෙන්නා සේ පරලොව දී,  නිරයෙහි දුක් ලබා දේ. එම නිරය නම් අප කවුරුත් අසා ඇති අපායයි. බුදු දහමෙහි දේශනා කරන නිරය පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීම අතිශයින් වැදගත් වෙයි.
මිනිසෙකුගේ මරණින් මතු ජීවිතය නිරයට පත් වනවා ද නැතහොත් සුගතිගාමී වනවා ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා කරනු ලබන කර්ම  ශක්තිය මතය. යමෙක් ත්‍රිහේතුක අකුසල කර්මයන් සිදු කරමින් සිට එනම් ලෝභ, දෝස, මෝහ අකුසල මූලයන් නිසා යමෙක් කර්ම රැස් කරන්නේ නම් ඔහු ඊළඟ භවය සඳහා සකස් වන්නේ නරක, තිරිසන්, ප්‍රේත යන තුන් යෝනියෙන් එකකි.
ත්‍රිහේතුක කුසල මූලයන් නිසා යමෙක් කර්ම රැස් කරයි නම් දිව්‍ය හා මනුෂ්‍ය යන භවයන් හි උපැද්ම පිණිස කර්ම රැස් කර ගනී.
කම්මං සත්තේ විභජති යදිදං හීන පණීතතාය යනු තථාගත දේශනාව හෙයින්, රැස් කරනු ලබන කර්මයෙහි විපාකය අනුව සත්වයා සුගති ගාමි වීම හෝ දුගති ගාමි වීම සිදුවේ.
දු+ ගති  දුක් සහිත උපත යන තේරුමින් හෝ, නිර්+අය-  ලැබීම් වලින් තොර වූයේ හිස් වූයේ යන අර්ථයෙන් හෝ වි+නිපාත- විපත්තියට වැටීම යන අර්ථයෙන් අපාය හෙවත් නිරය විවිධ නම් වලින් ත්‍රිපිටක දේශනා තුළ හඳුන්වා ඇති අයුරු දක්න ට හැක. මෙම අපාය නැත හොත් නිරය - නරක, තිරිසන්, ප්‍රේත, අසුර යනුවෙන් කොටස් හතරක් ව දක්වා ඇතත්, මහා නිරය අටක් (8) හා ඔසුපත් නිරය එකසිය විසි අටක් (128) ක් පිළිබඳ ව දහමෙහි සඳහන්. එයින් අට මහා නරකය නම් 
  •  සංජීවය
  •  කාලසූත්‍රය,  
  •  සන්ඝාතය,
  • රෞරවය,
  • මහා රෞරවය,
  • තාපය,
  • ප්‍රතාපය,
  • මහා අවීචිය යන නම්වලින් පැහැදිලිය.

       
සංජීව - මෙම නිරයන්ට මෙසේ නම් තැබෙන්නේ එහි ක්‍රියා කලාපය අනුව සලකා ගෙනයි. එයින් සංජීවය නම් යම පල්ලන් විසින් දිලිසෙන අවි ආයුධ වලින් කැබලි කැබලි ලෙස කපමින් සිටිද්දී ඒ සත්වයන් නැවත නැවත උපත ලබන නිරයයි. සංජීව යන්නෙන් අදහස් කරන්නේ එකම විපාකය නැවත නැවත විඳීම සඳහා ඉපදෙමින් මැරෙමින් විපාකය ට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙහි උපන්නෝ පෙර අධික ක්‍රෝධයෙන්, හා මානයෙන් අනුන් පෙලමින් කටයුතු කරමින් කර්ම රැස් කළ අයයි. 
මිනිස් ලොව පනස් වසරක් චාතුම්මහාරාජික දෙව්ලොව එක් දිනකි. එවන් දොළොස් මසක් වසරක් වන අතර එවන් පන්සිය අවුරුද්දක් චාතුම්මහාරාජික දෙවිවරුන්ගේ ආයුෂය යි. එවන් පන්සිය අවුරුද්දක් සංජීව අවීචියෙහි එක් දවසකි.  මෙසේ බලන විට මිනිස් ලොව වර්ෂ වලින් සැලකුව හොත් වසර අනූ ලක්‍ෂයක් සංජීවයෙහි එක් දවසකි.

කාල සූත්‍ර - කාල සූත්‍රයෙහි උපන් අය යම පල්ලන් විසින් දැලි නූල් (කළු නූල්- කාල සුත්ත) ගසමින් දිලිසෙන පොර වෙන් සැස වේදනාවට පත් කරවයි. මෙහි උපන්නේ පෙර මව් පියන්ට, සිල්වත් ගුණවත් උතුමන්ට, තම ඥාති මිත්‍රාදීන් ට අපහාස කල පිරිස්, සුරාවෙන් සූදුවෙන් අනාචාරයෙන් කටයුතු කළ පිරිස්, අන්සතු දේ වංචා සහගත ලෙස අත්පත් කරගත් පිරිස්, නිරන්තර අන් අයගේ සිත් රිදෙන අයුරින් කතාබස් කළ පිරිස් ආදී අකුසල කර්මයෙන් දිවි ගෙවූ පිරිස් කාල සූත්‍රයේ උපත ලබති.
මිනිස් ලොව අවුරුදු සියයක් තව්තිසා දෙව්ලොව එක් දිනකි. එවන් අවසර දහසක් එහි දෙවියන් ආයුෂ විඳී. එවන් දහසක් වූ වසරක කාලය කාල සූත්‍රයේ එක් දවසකි. එවන් වසර දහසක් එහි ආයුෂ විඳිය යුතු ය. මිනිස් ලොව වසරින් ගත හොත් එය වසර තුන්කෝටි හැට ලක්‍ෂයකි.

සංඝාතය - අයෝමය පර්වතයක් මගින් සතුන් මිරිකමින් අඹරවන නරකයි සංඝාතය යි. එසේ වන්නේ සතුන් මැරුවන් හා ඇත්, අස්, ගව මහීෂාද්න් ට වධ දෙමින් වධ බන්ධනයට ලක් කරමින් වැඩගත් පිරිස් ය. පොදු දේ වංචා සහගත ලෙස පරිහරණය කළ පිරිස් ය. මිනිස් ලොව වසර දෙ සියයක් යාම දෙව් ලොව එක් දවසකි. එවන් දෙදහස් වසරක් යාම ලොව දෙවියෝ ආයුෂ විඳිති. එවන් වසර දෙදහසත් සංඝාත නිරයෙහි එක් දිනක ආයුෂයකි. එවන් වසර දෙදහසක් ඔවුහු එම නිරයේ දුක් විඳිති. මිනිස් ලොව වසින් දාහතර කෝටි හතළිස් ලක්‍ෂයකි.

රෞරවය - නව ද්වාරයෙන් ඇතුළට වැද ශරීරය දවන විට වේදනාවෙන් හඬන සතුන් ඇත්තේ රෞරවයෙහි ය. සතුන් මැරීම, මං පැහැරීම, මිනිස් ඝාතන කළ, ගේ දොර ගිනි තැබූ, පරිසරය දූෂණය වන අයුරින් කටයුතු කළ පිරිස් මෙම නිරයෙහි උපත ලබති. ඔවුන් මෙම නිරයෙහි දුක් විඳින කාල පරාසය සලකා බැලුව හොත් මිනිස් ලොව වසර පනස් හත්කෝටි හැට ලක්‍ෂයක් තරම් වන දීර්ඝ කාලයකි.
මහා රෞරවය - මහා ර‍ෞරවයෙහි උපන්නෝ රෞරවයෙහි උපන් නිරි සතුන්ට වඩා, වඩ වඩාත් මහ හඬින් නිරන්තර හඬන පිරිසකි. ඔවුන් විඳින දුක්ගැහැට විඳ දරා ගත නො හැකි ව එසේ හඬති. නිරන්තර ගිනි දැල් නිසා දැවෙමින් නැවත දැවෙමින් එහි ම උපදිති.  මිනිස් ලොව වසර අටසියයක් නිම්මානරති දෙව්ලොව එක් දවසකි. එවන් වසර අටදහසක් එලොව දෙවිවරු ආයුෂ විඳිති. එවන් වසර අටදහසක් මහා රෞරවයෙහි එක් දවසකි. එවන් වසර අටදහසක් ඔවුහු එම නිරයෙහි දුක් විඳිති. එය මිනිස් ලොව වසරින් ගණිත හොත් දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් තරම් දීර්ඝ කාලයකි.

තාපය - තාප ‍නිරයෙහි උපන් නිරි සත්වයෝ තමා කළ අකුසල කර්මයන්හි විපාක නිසා අතිශය රත් වූ යවුල් වලින් තම සිරුර සිදුරු කිරීමේ පීඩාව විඳිති. එයින් තැවෙන නිසා තාප නිරය ලෙස මෙය හඳුන්වයි.
අධර්මිෂ්ඨ ලෙස රට පාලනය කළ පිරිස් එවන් අධාර්මික ක්‍රියා සඳහා උපකාර කළ රාජ්‍ය සේවකයන් ද මෙම නිරයෙහි උපදිති.
මිනිස් ලොව වසරින් නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි.
ප්‍රතාපය -  මෙම නිරයෙහි උපන් සත්වයෝ එහි යම පල්ලන් විසින් ගිනි ගෙන දැවෙන අයෝමය කඳු මුදුන් වලට නංවති. එහි මුදුනට වන් විට නැවත කඳු පාමුලට රූරා ඇද හැලෙන ඔවුන් කඳු පා මුල වන ගිනි ගෙන දැවෙන යවට මතට ඇද වැටෙති. එහි නැවත දැවෙන දුක් ස්වභාවයට පත් වෙති. මෙවන් නිරයට යන්නෝ, පණ ඇතිව මිනිසුන් ආදි සතුන් පිළිස්සූ පිරිස්, ගේ දොර දවා ලූ පිරිස්, ගහ කොළ- වනාත්තර දවාලූ පිරිස් වෙති.  
මෙම නිරයෙහි ආයුෂය අනන්ත කල්ප අඩක් වන තරම් දුක් විඳිය යුතු ය.
අවීචිය- සියලු නිරයන් අතර දුක් අධික ව විඳින නිරය වන්නේ මෙය යි. නිරන්තර ව දැඩිව ඇවිළෙන ගිනි දැල් නිසා දැවෙමින් පීඩාවට පත් වන නිරි සත්වයන් මෙම නිරයෙහි දුක් විඳී. ආනන්තරීය පාප කර්ම කළ පිරිස්, බොරුවෙන් කේලම් කීමෙන් අන් පිරිස් බිඳ වූ පිරිස්, පූජනීය ස්ථාන විනාශ කළ ඒ සඳහා අනුබල දෙන්නා වූ පිරිස්, දුසිල්වත් ව සිට අනිසි ලෙස සිව්පස පරිහරණය කළ පිරිස් ආදීන් මෙම නිරයෙහි උපදී.
එවන් නිරයට පත් වූ විට නිරන්තර ගිනි දැල්වලින් දැවෙමින් අනන්ත කල්පයක් වන කාලයක් එහි දුක් විඳිමින් පීඩාවට පත් වන බැව් සඳහන් ය.
මෙම අට මහා නිරය පිළිබඳ විමසීමේ දී අකුසලයෙහි විපාක කෙතරම් බියකරු ද යන්න වටහා ගත හැක. අකුසල් කරන කලට එය මිහිරි ලෙස හැඟුනත් එහි විපාක විඳීමේ දී අතිශය දුකට පීඩාවට පත් වන්නක් ද යන්න එයින් පැහැදිලි වේ. නුවණැත්තෝ අකුසලට බැහැර කරන්නේ මෙවන් දුකට පීඩාවට පත් ව සසර ජීවිතය අඳුරු කර ගැන්මට ඇති බිය නිසා ය. ලොව පාලනය වන ධර්ම ලෙස (දේව ධර්ම) පවට වන බිය හා ලජ්ජාව ධර්මය තුළ දක්වන්නේ  සත්වයාගේ සසර බියකරු බව හඳුනා කටයුතු කිරීමට.
(මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රය හා රේරුකානේ චන්දවිමල නාහිමිපාණන්ගේ බෞද්ධයාගේ අත්පොත ඇසුරින් මෙහි සඳහන් කරුණු පිළිබඳ වැඩි දුර දැනුමැති බවක් ලබා ගත හැකිය.


No comments:

Post a Comment