-->

Sunday, December 10, 2017

සරු දේ ම ගන්න

සරු දේ ම ගන්න

        ත්‍රිපිටක දේශනාවෙහි සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයෙහි එන මහා සාරෝපම සූත්‍රය සරු දේ ගැනීම හා එසේ සරු දෙයෙහි ඵලය නිසි ලෙස ලබා ගන්නා පුද්ගලයාගේ ස්වභාවය මැනවින් විවරණය කර තිබේ.

බුදුරජාණන් වහන්සේ රජ ගහ නුවර ගිජුකුළු පව්ව ඇසුරෙහි වැඩ සිටින සමයක දෙව් දත් තෙර විසින් උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද පංච වරය,

      ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අපිස් බවෙහි, සන්තුට්ඨියෙහි, සල්ලේඛයෙහි, ධුතගුණයෙහි, ප්‍රසාද එළවන බවෙහි, නිවනෙහි, වීර්යාරම්භයෙහි ගුණ කියන සුළු ය. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට, සන්තුෂ්ටියට, සල්ලේඛයට, ධුතගුණයට, ප්‍රසාදයට, නිවනට, වීර්යාරම්භයට වැටෙත්’’ කවර පඤ්ච වස්තුවෙක් ද යත්?

1.       භික්‌ඛූ යාවජීවං ආරඤ්ඤකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය. දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට පැමිණ පහස ලබන්නේ නම් වරදකි.
2.       භික්‌ඛූ යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදිසෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට භික්ෂූහු පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) භාරගෙන පහස ලබන්නේ නමේ වරදෙකි.
3.      භික්‌ඛූ යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය. දිවි හිම් කොට භික්ෂූහු පංසුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය භාරගෙන පහස ලබන්නේ නම් වරදකි.
4.      භික්‌ඛූ යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට භික්ෂූහු වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළැඹේ පහස ලබන්නේ නම් වරදකි. 
5.      භික්‌ඛූ යාවජීවං මච්ඡමංසං නඛාදෙය්‍යුං, යො මච්ඡමංසං ඛාදෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.  දිවි ඇති තෙක් භික්ෂූහු මත්ස්‍ය මාංශ (දිය මස් හා ගොඩ මස්) නො වළඳන්නෙහු නම් මැනව. යමෙක් මත්ස්‍ය මාංශ කෑමෙන් පහස ලබන්නේ නම් වරදකි. 
යනුවෙන්  බුදුරජාණන් වහන්සේ වෙතින් කළ ඉල්ලීම් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළ නිසා එය ම සංඝභේදයට හේතුවක් කර ගනිමින් තම මතය හා එකඟ වූ භික්‍ෂු පිරිසක් ගෙන අරමින් නික්මුනි. එය හේතු කර ගෙන දෙවි දත් තෙරුන් වැනි හිස් පුද්ගලයන්ගේ ව්‍යවහාරය හා චරණය අරටුව සොයනු රිසි ව වනයට ගිය පුද්ගලයකු අරටුව යැයි සිතා අතු රිකිළි කඩා ගෙන එන්නක් වැනි යැයි අර්ථ දක්වා දෙසන ලද සූත්‍රයකි මහා සාරෝපම සූත්‍රය.
මහා සාරෝපම සූත්‍රය හා චූල සාරෝපම සූත්‍රය ඕපම්ම වග්ගයේ එක හා සමාන අර්ථ විවරණ ඇති සූත්‍රයන් දෙකකි. ඔපම්ම වග්ගයේ එන සෑම සූත්‍රයක් ම කිසියම් උපමාවක් (ඕපම්ම) භාවිතයෙන් ධර්ම විග්‍රහ කරන හෙයින් එහි ඇතුලත් උපමාවන් පළමුව විමසීම වටී. එහි දැක්වෙන ආකාරයට,
යමකු ගසක අරටුවක් දකිනු රිසි වනයක් වෙත පිවිසේ
ඔහු අරටුවක් ලබනු හැකි ගසක් සොයා ගනී.
එසේ වුව ඇතැමෙක්, අරටුව යැයි සිතා කොළ අතු රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා පොත්ත රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා සිවිය රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා එළය රැගෙන යයි.
ඇතැමෙක් අරටුව ම රැගෙන යයි.
මෙබදුම වූ පුද්ගලයන් සසුන තුළද දැකිය හැකි බව සාරෝපම සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළහ.

දුකින් මිදුනි රිසින් ඉන් මිදිය හැකි තැනක් සොයන පුද්ගලයා ඉතා ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ ශාසනය වෙත එළඹ පැවිදි වේ.
එසේ පැවිදි වූ ඔහු පැවිද්ද නිසා උපදන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා දැක එය හරය සේ ගනී. එහි ම ඇලේ එහි ඇති වන මානය නිසා තමා උසස් කොට අන් අය පහත් කොට සලකා, "මා කීර්ති ප්‍රශංසා ඇත්තෙකි මා සේ අන් භික්‍ෂූහු කීර්තියෙන් ප්‍රශංසාවෙන් ලාභයෙන් උසස් වූ වන් නොවේ මාහේශාක්‍ය නොවේ. අල්පේශාක්‍ය යැ" යි මාන්නයෙන් යුතු ව කටයුතු කරයි. ඒ මාන්නය හේතුවෙන් හරයක් නො ලැබම දුක සේ කල් ගෙවයි. අරටුව සොයනු රිසින් විත් අරටුව ඇති ගසත් හමුව කොළ අතු පමණක් රැගෙන යන පුරුෂයා බඳු ව හරයක් නො ලැබ දිවි ගෙවයි.
ඇතැම් භික්‍ෂුවක් පැවිද්ද නිසා උපදන ලාභ සත්කාර දැකත් එහි නො ඇලී, ඉන් උපදනා මාන්නය නිසා මුලාවට පත් නොවී සීල සම්පත්තියෙන් යුතු වෙයි. තමන් උපදාවගත් ශීලයෙන් නො පිරිහී එය රකිනු පිණිස උත්සුක ව කටයුතු කරයි. ඒ උපදවා ගත් ශීලය නිසා තමා උසස් සේ සලකයි. අන් අය පහත් ‍කොට සිතයි. " මා උසස් වූ ගුණධර්මයෙන් යුතු සිල්වතෙක් වෙමි අන් භික්‍ෂූන් පවිටු වූ පිරිස් යැ" යි සලකා ශීලය නිසා මානය උපදවා ගනී. එය හරය සේ සලකා කටයුතු කරයි. ගසක අරටුව සොයනු පිණිස පැමිණි පුද්ගලයා අරටුව යැයි සිතා හරයක් නොමැති පිට පොත්ත පමණක් රැගෙන යන්නා සේ මුලා වූවකු බවට පත් වෙයි.
ඇතැම් භික්‍ෂුවක් ගිහි ගෙහි කලකිරී උතුම් සසුන වෙත පිවිස පැවිද්ද නිසා ලැබූ සිව්පසය නිසා උපන් ලාභ සත්කාර දැක ඒ කෙරෙහි නො ඇලී, උපදවා ගත් උසස් සීල සම්පත්තිය නිසා මුලා නොව වීර්යයනේ යුතු ව සමාධි සම්පත්තිය උපදවා ගනී. ඒ උපදවා ගත් සමාධිය කෙරෙහි ඇලෙන ඔහු එයම හරය සේ සලකා තමා උසස් සමාධියෙන් යුතු වූවෙකැයි සිතා තමා පිළිබඳ මාන්නය උපදවා ගනී. තමා උසස් සමාධියෙන් යුතු වූවකු යැයි ද අන් අය සේ නොවන්නන් යැයි සිතා තමා උසස් කොට අන් අය පහත් කොට සලකා කටයුතු කරයි. ගසක අරටුවක් සොයනු රිසින් වනස්පතිය කරා පැමිණි පුද්ගලයා අතු රිකිළි සිඳ, පොත්ත සිඳ අරටුව යැයි සිතා සුඹුල සිඳ ගෙන යයි. එපරිද්දෙන් උතුම් සසුනේ හරය සමාධිය යැයි සලකා එහි මුලාව කටයුතු කරන භික්‍ෂුව සසුනේ උතුම් ඵලය ලබා නො ගනී.
එපරිද්දෙන් ශ්‍රද්ධාවෙන් සසුන් වන් භික්‍ෂුව සිව්පසය නිසා උපදනා ලාභයෙන් මත් නොවී, සීලය නිසා උඩඟු නොවී, සමාධිය පමණක් හරය සේ නො සලකා එහි නො ඇලී තව තවත් වෙර වඩා කටයුතු කිරීමෙන් ඥාන දර්ශනය නිසා - උපදවා ගත් පංච අභිඥාවන් නිසා- ඉන් මුලාව කටයුතු කරයි. ‍එසේ මුලා වන්නා වූ එම භික්‍ෂුව තුළ මෙවන් කල්පනාවන් ඇති වේ.
අහමස්මි ජානං පස්සං විහරාමි. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. සො තෙන ඤාණදස්සනෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති, පමත්තො සමානො දුක්ඛං විහරති.
මා අන් භික්‍ෂූන්ට වඩා ඤාණ දර්ශනයෙන් යුතු වෙමි. අන් භික්‍ෂූන් නො දන්නා වූ ‍දෑ දනිමි.  එවන් ඤාණ දර්ශනය නිසා පමාව, මුලාව කටයුතු කරයි.
අරටුව සොයනු රිසි පුද්ගලයා අරටුව ඇති මහ රුක දැකත්, එහි අතු රිකිළි, පොත්ත සිඳ, සුඹුල ඉවත ලා අරටුව සේ සලකා එළය රැගෙන ඉන් මුලා වන්නා සේ සීලයෙන් සමාධියෙන් උපදනා ඤාණ දර්ශනය හරය සේ සලකා ඉන් මුලාව උපදනා මානය නිසා කටයුතු කරන භික්‍ෂුව සැබෑ ඵලය නො ලබන බව සාරෝපම සූත්‍රය තුළ විවරණය කෙරෙයි.
සම්බුදු සසුනෙහි සැබෑ හරය නම්  සිව්පසය හෝ ඒ නිසා උපදන ලාභ සත්කාර හෝ, උපදවා ගන්නා සීල සම්පන්න භාවය හෝ සමාධිය හෝ  ඤාණ දර්ශනය ( පංච අභිඥා ආදී ලෞකික ධ්‍යාන) සම්පත පමණක් ම නොව උතුම් වූ රහත් ඵලය ම බව සාරේපම සූත්‍රය පෙන්වා දේ ඒ ලබන හැකි වන්නේ  සිව්පසයෙන්, ලාභ සත්කාරය නිසා උපදන මානයෙන්, සීලය නිසා උපදන මානයෙන්, සමාධිය නිසා උපදන මානයෙන්, ලෞකික ධ්‍යානයෙන් උපදන මානයෙන් නොව එය ඉක්මවා උපදවා ගන්නා වීර්යය නිසා ලබන රහත් බව තුළිනි. උතුම් සසුනට වන් පුද්ගලයා, අරටුව ඇති වනස්පතිය දැක එහි අරටුව ලබනු කැමති ව අතු රිකිලි ඉවත් කොට, පිට පොත්ත හැර, සුඹුල හැර, එලය හැර අරටුව ලබා ගන්නා සේ ලෞකික ව උපදනා සම්පතින්  නො මුලා ව උතුම් රහත් ඵලය ම ලබා ගනී.
‘‘ඉති ඛො, භික්ඛවෙ, නයිදං බ්‍රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං, භික්ඛවෙ, අකුප්පා චෙතොවිමුත්ති - එතදත්ථමිදං, භික්ඛවෙ, බ්‍රහ්මචරියං, එතං සාරං එතං පරියොසාන’’න්ති.
මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචර්යාව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි. සීල සම්පත්තිය පිණිස නොවෙයි. සමාධි සම්පත්තිය පිණිස නොවෙයි. ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි. මහණෙනි, යම් මේ රහත්බවෙක් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව මේ රහත් බව පිණිසමැයි.
මින් පැහැදිලි වන්නේ සසර ඉම තරණය කරනු හැක්කේ උතුම් රහත්ඵලය තුළින් පමණක් විනා ඉන් මෙ පිට වන ලෞකික සම්පත්තිය හරය ලෙස ගැනීමෙන් නොවන බවයි.




No comments:

Post a Comment